වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ චර්ම රෝග ව්‍යාප්තිය බරපතළ සෞඛ්‍ය ගැටලුවක් දක්වා වර්ධනය වී ඇති බව චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දෙයි. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය නයනී මදරසිංහ මහත්මිය මේ බව අවධාරණය කළාය.

චර්ම රෝග සායන වෙත පැමිණෙන රෝගීන්ගේ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව වෛද්‍යවරිය සඳහන් කළාය. රෝග පිළිබඳ නිසි අවබෝධයක් නොමැති වීම සහ වැරදි ප්‍රතිකාර ක්‍රම වෙත යොමු වීම හේතුවෙන් රෝග තත්ත්වයන් උත්සන්න වන බව ඇය වැඩිදුරටත් පැවසුවාය.

බොහෝ දෙනා චර්ම රෝග බෝවන රෝග ලෙස වැරදියට වටහාගෙන තිබීම නිසා රෝගීන් දැඩි මානසික පීඩාවකට ලක්වන බව ද වෛද්‍යවරිය පෙන්වා දෙයි. ඇත්ත වශයෙන්ම චර්ම රෝග යනු බෝවන රෝග කාණ්ඩයට අයත් නොවන බව ඇය පැහැදිලි කළාය.

මේ අතර, වෛද්‍ය අනුමැතියකින් තොරව දිලීර නාශක ඖෂධ භාවිතය නිසා ‘ටීනියා’ (Ringworm) වැනි දිලීර රෝග පාලනය කිරීම අසීරු වී ඇති බව විශේෂඥ වෛද්‍ය නුවන්ගිකා ශිවන්ති මහත්මිය සඳහන් කළාය. සායන වෙත එන රෝගීන්ගෙන් 20%ක් පමණ මෙම දිලීර ආසාදනයෙන් පෙළෙන බව වාර්තා වේ.

ස්වයං වෛද්‍ය ප්‍රතිකාර හේතුවෙන් දිලීර නාශක ඖෂධවලට ප්‍රතිරෝධී තත්ත්වයක් ඇති වී තිබීම බරපතළ ගැටලුවකි. එම නිසා රෝගීන් දීර්ඝ කාලයක් ඖෂධ ලබා ගැනීමට සිදුවන තත්ත්වයකට පත්ව ඇති බැවින්, චර්ම රෝග සඳහා වෛද්‍ය උපදෙස්වලින් තොරව ඖෂධ භාවිතයෙන් වළකින ලෙස විශේෂඥ වෛද්‍යවරු ජනතාවගෙන් ඉල්ලා සිටිති.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version