දරුවන්ගේ ලෝකය තේරුම් ගනිමින් ඔවුන් කේන්ද්‍ර කරගත් යහපත් සමාජයක් ගොඩනැගීම වර්තමානයේ අත්‍යවශ්‍ය කරුණක් බව ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රී පොල්රාජ් මහත්මිය අවධාරණය කරයි. අමාත්‍යවරිය මේ බව සඳහන් කළේ ගම්පහ ශ්‍රී බෝධි ක්‍රීඩාංගණයේදී පැවති 2026 මුල් ළමා විය රැකවරණය හා සංවර්ධනය පිළිබඳ ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවයට එක්වෙමිනි.
වැඩිහිටියන්ගේ ආකල්ප හා ප්‍රතිචාරවල පවතින ගැටලු දරුවන්ගේ හැසිරීම් කෙරෙහි සෘජුවම බලපාන බව පෙන්වා දුන් අමාත්‍යවරිය, දරුවන්ගේ හැසිරීම වෙනස් කිරීමට අපේක්ෂා කරන්නේ නම් පළමුව වැඩිහිටියන් තම ආකල්ප වෙනස් කරගත යුතු බව පෙන්වා දුන්නාය.
දරුවන්ට එරෙහිව සිදුවන හිංසනයන්, නොසලකා හැරීම් සහ අධ්‍යාපනයෙන් දරුවන් ඉවත් වීම වැනි ගැටලු බොහොමයක් වැඩිහිටි සමාජයේ හැසිරීම්වල ප්‍රතිඵල බව ඇය වැඩිදුරටත් පැවසුවාය. දරුවන්ගේ හැකියාවන් හඳුනාගෙන ඔවුන්ට නිසි මඟ පෙන්වීමක් ලබාදීම වැඩිහිටියන් සතු වගකීමක් බවද ඇය සිහිපත් කළාය.
මෙම වැඩසටහන ජූලි 14 සිට 20 දක්වා ක්‍රියාත්මක වන මුල් ළමා විය රැකවරණය හා සංවර්ධනය පිළිබඳ ජාතික සතියට සමගාමීව පැවැත්වේ. ගම්පහ දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන්, දේශපාලන නියෝජිතයින් සහ දෙමාපියන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
