කියුබාවේ ජාතික විදුලිබල පද්ධතිය යළිත් වරක් සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඇති බව එරට බලධාරීන් තහවුරු කරයි. දින දහයකට අඩු කාලයක් තුළ මෙරට විදුලි පද්ධතිය මෙලෙස අක්‍රිය වූ තෙවැනි අවස්ථාව මෙය වන අතර, මේ හේතුවෙන් මිලියන 10කට ආසන්න ජනතාවක් දැඩි අඳුරේ සහ අපහසුතාවයට පත්ව සිටිති.
එරට බලශක්ති හා පතල් අමාත්‍යාංශය සඳහන් කරන්නේ හෝල්ගුයින් පළාතේ පිහිටි විදුලි ජනන යන්ත්‍රයක ඇති වූ තාක්ෂණික දෝෂයක් මෙම බිඳවැටීමට මූලික හේතුව වී ඇති බවයි. දේශීය වේලාවෙන් පෙරවරු 11ට පමණ ආරම්භ වූ මෙම විදුලි විසන්ධි වීමත් සමඟ රටේ සමස්ත විදුලි සැපයුම අඩාල විය.
දශක ගණනාවකට පසු කියුබාව මුහුණ දෙන දරුණුතම ආර්ථික අර්බුදය සහ ඉන්ධන හිඟය මෙම තත්ත්වය තවත් උග්‍ර කර තිබේ. විදේශීය සම්බාධක හේතුවෙන් ඉන්ධන ආනයනය සීමා වීම විදුලි උත්පාදන ක්‍රියාවලියට දැඩි බලපෑමක් එල්ල කර ඇති බව වාර්තා වේ.
විදුලිය නොමැති වීම හේතුවෙන් එරට සාමාන්‍ය ජන ජීවිතය සම්පූර්ණයෙන්ම අඩාල වී ඇත. පොදු ප්‍රවාහන සේවා නතර වී ඇති අතර, රෝහල්වල සිදු කිරීමට නියමිතව තිබූ සැත්කම් රැසක් අවලංගු කිරීමට බලධාරීන්ට සිදුව තිබේ. මීට අමතරව ජල සැපයුම සහ අන්තර්ජාල සේවා ද දැඩි ලෙස බාධාවට ලක්ව ඇති බව වාර්තා වේ.
