පුත්තලම සහ කොළඹ අතර ධාවනය වන සාමාන්‍ය සහ සුඛෝපභෝගී පෞද්ගලික බස් රථ සේවකයින් අද (27) උදෑසන සිට හදිසි වැඩ වර්ජනයක නිරත වී ඇත.
තමන්ට එල්ල වන ප්‍රහාර සම්බන්ධයෙන් බලධාරීන් නිසි පියවර නොගැනීම හේතුවෙන් මෙම වර්ජනය ආරම්භ කළ බව බස් රථ සේවකයින් පවසයි. පසුගිය දින කිහිපය තුළ කොළඹ සිට පුත්තලම හරහා ධාවනය වන බස් රථ සේවකයින්ට කිසියම් පිරිසක් විසින් පහර දී ඇති බව ඔවුන් චෝදනා කරයි.
මෙම පහරදීම් පසුගිය 20, 24, 25 සහ 26 යන දිනයන්හිදී හලාවත සහ මුන්දලම යන ප්‍රදේශවලදී සිදුව ඇති බව වර්ජනයේ නිරත පිරිස සඳහන් කරති. පහරදීම්වලින් තුවාල ලැබූ ඇතැම් සේවකයින් තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බවද වාර්තා වේ.
පොලිසිය සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාව වෙත මෙම සිදුවීම් සම්බන්ධයෙන් පැමිණිලි කළද, ඒ සඳහා මෙතෙක් කිසිදු සාධාරණ පියවරක් ගෙන නොමැති බව බස් රථ සේවකයින් පවසයි. තමන්ට සාධාරණයක් ඉටුවන තුරු වර්ජනය අඛණ්ඩව පවත්වාගෙන යන බව ඔවුන් වැඩිදුරටත් කියා සිටිති.
