ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වූ යුපුන් අබේකෝන් ක්‍රීඩාවෙන් සමුගැනීමත් සමඟ ඒ පිළිබඳව විවිධ පාර්ශව අදහස් පළ කරමින් සිටී. මෙම පසුබිම තුළ, ඔලිම්පික් පදක්කම්ලාභී සුසන්තිකා ජයසිංහ සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා ක්‍රීඩා පරිපාලනයේ අතීත ක්‍රියාකලාපය පිළිබඳව දැඩි විවේචනයක් එල්ල කර තිබේ.
ප්‍රවීණ පුහුණුකරු සුනිල් ගුණවර්ධන මහතා විසින් මෑතකදී සිදුකළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් සුසන්තිකා පවසා සිටියේ, ක්‍රීඩකයන්ට දිනන්නට පෙර නිවාස හෝ වාහන ලබා දුන් බවට පැවසෙන කතාවල සත්‍යතාවක් නොමැති බවයි. තමන් ලෝක මට්ටමේ ජයග්‍රහණ ලබා ගැනීමෙන් අනතුරුව පමණක් එවැනි ඇගයීම් ලැබුණු බවත්, ඇතැම් ක්‍රීඩකයන්ට පමණක් විශේෂ සැලකිලි ලැබුණු බවත් ඇය සිහිපත් කරයි.
තම ක්‍රීඩා දිවිය තුළ මුහුණ දීමට සිදු වූ අසාධාරණකම් සහ මානසික පීඩනයන් පිළිබඳව විවෘතව අදහස් දක්වමින් ඇය කියා සිටියේ, අතීතයේ ක්‍රීඩා පරිපාලනය ක්‍රීඩකයන් අතර බෙදීම් ඇති කළ බවයි. “ඔබතුමාලා ක්‍රීඩාව කෑවා, ක්‍රීඩකයන් නැති කළා” යනුවෙන් ඇය චෝදනා කරයි.
යුපුන් අබේකෝන්ගේ ක්‍රීඩා දිවිය පිළිබඳව අදහස් දක්වමින් ඇය කියා සිටියේ, ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ ලබා ගැනීමෙන් පසුව පමණක් ක්‍රීඩකයෙකුට නිසි ඇගයීමක් ලැබිය යුතු බවයි. වර්තමාන ක්‍රීඩා අමාත්‍යවරයා ක්‍රීඩාව වෙනුවෙන් සිදුකරන මෙහෙවර ඇය අගය කරන අතර, අතීතයේ ක්‍රීඩාවට අසාධාරණයක් කළ පිරිස් දැන්වත් නිහඬව සිටිය යුතු බව ඇය අවධාරණය කරයි.
තමන් කිසිදු බියකින් තොරව ක්‍රීඩාවේ ඇත්ත-නැත්ත හෙළි කිරීමට තීරණය කළේ, වර්තමානයේ ක්‍රීඩාව තුළ පවතින තත්ත්වය සහ අතීතයේ සිදු වූ අසාධාරණකම් පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් බව සුසන්තිකා ජයසිංහ වැඩිදුරටත් සඳහන් කළාය.
