අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් රජය ලබාදෙන අස්වැසුම සහනාධාර මුදල් පවා වංචා කිරීමට ඇතැම් රාජ්‍ය නිලධාරීන් පෙළඹී සිටීම ඉතාමත් කනගාටුදායක තත්ත්වයක් බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා පවසයි. එවැනි ක්‍රියාවන් මගින් සුපිළිපන් සමාජයක් ගොඩනැගීමේ අවශ්‍යතාව වඩාත් තහවුරු වන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
බත්තරමුල්ල, සෙත්සිරිපාය පරිශ්‍රයේදී පැවැති ‘ස්වාභිමානී දිරිය නිපැයුම් – 2026’ වෙළඳ ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. සමාජ සේවා දෙපාර්තමේන්තුව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම ප්‍රදර්ශනය, ආබාධ සහිත පුද්ගලයන්ගේ නිර්මාණ සඳහා ජාතික හා ජාත්‍යන්තර පිළිගැනීමක් ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක වේ.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, ආබාධ සහිත පුද්ගලයන් සමාජයේ දෙවැනි පෙළ පුරවැසියන් ලෙස නොසලකා, ඔවුන් ස්වාභිමානයෙන් යුත් ගෞරවනීය පුරවැසියන් ලෙස පිළිගැනීමට සමාජය සූදානම් විය යුතු බවයි. ඔවුන්ගේ ශාරීරික හෝ වෙනත් වෙනස්කම් හුදු දුර්වලතාවක් ලෙස නොදැක, ඒවා සමාජයට අන්තර්කරණය කළ යුතු වටිනා ලක්ෂණ ලෙස සැලකිය යුතු බවද ඔහු අවධාරණය කළේය.
දිවයිනේ සියලු දිස්ත්‍රික්ක නියෝජනය කරමින් ආබාධ සහිත පුද්ගලයන්ගේ නිර්මාණ රැසක් මෙම ප්‍රදර්ශනයට එක් කර තිබිණි. ඔවුන්ගේ හැකියාවන් රටේ සංවර්ධන ක්‍රියාවලිය සඳහා ඵලදායී ලෙස යොදාගත හැකි බව පෙන්වා දුන් අමාත්‍යවරයා, සෑම නිර්මාණයක් පිටුපසම විශාල කැපවීමක් සහ සැබෑ ජීවිත කතාවක් ඇති බවද සිහිපත් කළේය.
මෙම අවස්ථාව සඳහා නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ආබාධ සහිත පුද්ගලයන්ගේ දෙමාපියන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
