පාස්කු ඉරිදා ප්‍රහාරයට ලක්වූ වින්දිතයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් වෙනුවෙන් කොළඹ අගරදගුරු පදවිය සැමවිටම පූර්ණ සහයෝගීතාවයෙන් කටයුතු කරන බව අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අවධාරණය කරති.
විශේෂ නිවේදනයක් නිකුත් කරමින් උන්වහන්සේ සඳහන් කරන්නේ, මෙම අවාසනාවන්ත සිදුවීමට සම්බන්ධ සැබෑ මහ මොළකරුවන් සහ ඊට වගකිවයුතු සියලු පාර්ශ්වයන් නීතිය හමුවට පැමිණවීම අගරදගුරු පදවියේ දැඩි අපේක්ෂාව බවයි.
එවැනි අන්තවාදී හෝ සංවිධානාත්මක ප්රහාරයන් යළි කිසිදිනෙක රට තුළ සිදු නොවීමට වගබලා ගැනීම බලධාරීන්ගේ වගකීමක් බවද කාදිනල් හිමිපාණන් පෙන්වා දෙති. ඕනෑම ආගමික ස්ථානයක හෝ පොදු ස්ථානයක ආරක්ෂාව තහවුරු කිරීමටත්, ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමටත් පියවර ගත යුතු බව උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කරති.
රටේ පාලනාධිකාරිය දරන සියලු පාර්ශ්වයන් මෙවැනි ව්‍යසනයන් වැළැක්වීම උදෙසා උපරිම කැපවීමකින් කටයුතු කළ යුතු බවද උන්වහන්සේ සිය නිවේදනය මගින් සිහිපත් කර සිටිති.
