මත්ද්‍රව්‍ය උවදුර මේ වන විට රටේ ආර්ථිකයට සහ සමාජ ආචාරධර්ම පද්ධතියට බරපතළ තර්ජනයක් බවට පත්ව ඇති බව ‘රටම එකට’ ජාතික මෙහෙයුම් සභාවේදී අවධාරණය කෙරිණි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවති මෙම හමුවේදී, මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ සඳහා මරණ දඬුවම ලබා දීමේ හැකියාව පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයන නීතිවිරෝධී ධනය රටේ සංචාරක කර්මාන්තයට සහ ජාතික ආර්ථිකයට එල්ල කර ඇති බලපෑම පිළිබඳව මෙහිදී කරුණු අනාවරණය විය. මෙම ව්‍යසනය මුලිනුපුටා දැමීම සඳහා දැඩි නීතිරීති ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දුන් අතර, ඒ සඳහා ආගමික නායකයින්, දෙමාපියන් සහ ප්‍රජා සංවිධානවල සහයෝගය අපේක්ෂා කරන බව සඳහන් කළේය.
මත්ද්‍රව්‍ය පාලනයට අදාළ නීති සංශෝධන දැනටමත් අවසන් අදියරේ පවතින අතර, ඒවා කඩිනමින් ගැසට් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. නඩු කටයුතු ප්‍රමාද වීමට හේතු වන රස පරීක්ෂක වාර්තා නිකුත් කිරීමේ ක්‍රියාවලිය වේගවත් කිරීමට පියවර ගෙන ඇති අතර, පසුගිය ජූලි මාසයේදී පමණක් වාර්තා 6,414ක් නිකුත් කර ඇත.
බන්ධනාගාරවල පවතින තත්ත්වය පිළිබඳවද මෙහිදී විශේෂ අවධානය යොමු විය. පසුගිය කාලයේ බන්ධනාගාර කිහිපයක ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයන් හේතුවෙන් රුපියල් මිලියන 255කට අධික දේපළ හානියක් සිදුව ඇති බව අනාවරණය විය. රැඳවියන්ගේ හැසිරීම් පාලනය කිරීම සඳහා මනෝ වෛද්‍යවරුන්ගේ සේවය ලබා ගැනීමටත්, පුනරුත්ථාපන පනත සංශෝධනය කිරීමටත් පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන්නේය.
පාසල් පද්ධතිය තුළ මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ක්‍රියාත්මක ‘මිතුරු පාසල’ වැඩසටහනේ ප්‍රගතියද මෙහිදී සමාලෝචනය කෙරිණි. විශේෂයෙන් ජාත්‍යන්තර පාසල්වල සිසුන් අතර මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතින බව හඳුනාගෙන ඇති අතර, ඒ පිළිබඳව දැඩි අවධානයක් යොමු කරන ලෙස බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.
