දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව යන පළාත්වලට බලපා ඇති වැසි රහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් එම ප්‍රදේශවල ජනතාව දැඩි පීඩාවකට පත්ව තිබේ. ජල හිඟය නිසා පානීය ජල අවශ්‍යතා සපුරා ගැනීමට මෙන්ම එදිනෙදා කටයුතු පවත්වාගෙන යාමට ද ජනතාව දුෂ්කරතා අත්විඳිමින් සිටිති.
පවතින නියං තත්ත්වය හේතුවෙන් කෘෂිකාර්මික කටයුතු ද දැඩි අවදානමකට ලක්ව ඇත. පොළොන්නරුව සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල ගොවීන් පවසන්නේ ජලය නොමැති වීම නිසා තම කුඹුරු සහ වගාවන් විනාශ වීමේ තත්ත්වයකට පත්ව ඇති බවයි.
මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය වෙමින් පවතින අතර, ඉදිරි ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලට පෙර අදාළ ප්‍රදේශවලට සැලකිය යුතු වැසි ලැබීමේ හැකියාවක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
ගොවිතැන් කටයුතු සඳහා අවශ්‍ය ජල සම්පාදනය නොලැබීම හේතුවෙන් ගොවි ජනතාව සිය ජීවනෝපාය සම්බන්ධයෙන් දැඩි කනස්සල්ලක් පළ කරති.
