දිවයින පුරා පවතින වියළි කාලගුණයත් සමඟ ප්‍රධාන ජලාශ රැසක ජල මට්ටම සීග්‍රයෙන් පහත වැටෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව, දිවයිනේ ප්‍රධාන ජලාශ 73ක සමස්ත ජල ධාරිතාව මේ වන විට 37%ක මට්ටමට පැමිණ තිබේ.

විශේෂයෙන්ම අම්පාර, මඩකලපුව සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල පිහිටි ප්‍රධාන ජලාශ 18ක ජල මට්ටම 30%කට වඩා අඩු අගයක් ගෙන ඇත. අම්පාර දිස්ත්‍රික්කයේ ජලාශ 9ක සමස්ත ජල මට්ටම 22.9%ක් ලෙස වාර්තා වන අතර, සේනානායක සමුද්‍රය, රම්බකන් ඔය සහ නාමල් ඔය ඇතුළු ජලාශ රැසක ජල මට්ටම 50%කට වඩා පහළ ගොස් ඇත.

මඩකලපුව දිස්ත්‍රික්කයේ ජලාශවල තත්ත්වය ද අවධානයට ලක්විය යුතු මට්ටමක පවතී. එහි ප්‍රධාන ජලාශ 3ක සමස්ත ජල ධාරිතාව 25.7%ක් වන අතර, උන්නිච්චේ ජලාශයේ ජල මට්ටම 12.9%ක් දක්වා පහත වැටී තිබේ.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ජලාශ 5ක ජල ධාරිතාව 28.1%ක් ලෙස සටහන් වේ. කන්තලේ සහ මොරාන වැව ඇතුළු ප්‍රදේශයේ ප්‍රධාන ජලාශ කිහිපයක ජල මට්ටම මෙලෙස වේගයෙන් අඩුවෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තු දත්ත පෙන්වා දෙයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version