උතුරු පළාතේ පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් යාපනය ඩෙල්ෆ්ට් දූපතේ වෙසෙන පෝනි අශ්වයන් ඇතුළු වන සතුන් දැඩි ජල හිඟයකට මුහුණ දී සිටී. මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින්, ඔවුන් සඳහා පානීය ජලය ලබා දීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දියත් කර ඇත.
ජාතික ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය, උතුරු නාවික විධානයේ අධීක්ෂණය යටතේ සිදු කෙරේ. ඒ අනුව, ශ්‍රී ලංකා නාවික නෞකා ‘වසභ’ ආයතනය හරහා ඩෙල්ෆ්ට් දූපතේ බටහිර වෙල්ලායි ප්‍රදේශයේ වෙසෙන පෝනි අශ්වයන් සඳහා අවශ්‍ය ජලය සැපයීම සිදු කෙරේ.
දූපතේ පවතින ජෛව විවිධත්වය සහ ස්වභාවික සුන්දරත්වය අනාගත පරපුර වෙනුවෙන් සුරැකීම මෙම වැඩසටහනේ මූලික අරමුණයි. නාවික හමුදාව විසින් මීට අමතරව යාපනය දිස්ත්‍රික්කයේ ජනතාව සඳහා ප්‍රජා මූලික ජල පිරිපහදු මධ්‍යස්ථාන හරහා පිරිසිදු පානීය ජලය ලබා දීමේ කටයුතු ද අඛණ්ඩව සිදු කරනු ලබයි.
