ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන පද්මසිරි පෙරේරා හෙවත් ‘කෙහෙල්බද්දර පද්මේ’ නැමැත්තා ලබන සැප්තැම්බර් 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක බෝදරගම මහතා නියෝග කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ සැකකරු සතුව තිබී සොයාගත් ජංගම දුරකථන 08ක දත්ත විශ්ලේෂණය කිරීමේදී තොරතුරු රැසක් අනාවරණය වී ඇති බවයි. මකා දමා තිබූ දත්ත ප්‍රතිඋත්පාදනය කිරීමේදී ඉන් දුරකථන ඇමතුම් 8,841ක්, ඡායාරූප ලක්ෂ 3කට අධික ප්‍රමාණයක් සහ වීඩියෝ දර්ශන 5,000කට වැඩි ප්‍රමාණයක් හමුවී ඇත.

විමර්ශනවලදී අනාවරණය වී ඇති පරිදි, මෙම දුරකථනවල දේශපාලනඥයන් 09 දෙනෙකුට අදාළ ඡායාරූප සහ දුරකථන සංවාද ගබඩා කර තිබී ඇත. මීට අමතරව, ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 20 දෙනෙකු, බන්ධනාගාර නිලධාරීන් 13 දෙනෙකු සහ නිරූපණ ශිල්පිනියන් 07 දෙනෙකු පිළිබඳ තොරතුරු ද එම දත්ත අතර පවතී.

සැකකරු රටවල් 13ක ස්ථාන 15කට පමණ සංචාරය කර ඇති බවත්, ඔහුට එරෙහිව බැංකු ගිණුම් 17ක් සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය. ගිනිඅවි සොයාගැනීමේ සිද්ධියකට අදාළව ද මොහුගෙන් ප්‍රශ්න කරමින් පවතී.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඉල්ලා සිටියේ වැලිසර බන්ධනාගාරය හැර වෙනත් ඕනෑම ස්ථානයක තම සේවාදායකයා රඳවා තබන ලෙසයි. මේ අතර, මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් පානදුර නිලංග නැමැත්තා ද ලබන 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version