චීනය සහ නේපාලය අතර දේශසීමා ආසන්නයේ අද (26) පෙරවරුවේ සිදු වූ දරුණු නායයෑමක් හේතුවෙන් පුද්ගලයින් කිහිප දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. මෙම ආපදාවෙන් චීනයේ ෂිගාට්සේ නගරයේ ගයිරොං ප්රදේශයේ පිරිසක් පීඩාවට පත්ව ඇති අතර, තවත් පිරිසක් අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්ය පවසයි.
සිද්ධිය පිළිබඳව දැනගැනීමත් සමඟ චීන ජනාධිපති ෂී ජින්පිං මහතා වහාම ක්රියාත්මක වන පරිදි සහන කටයුතු විධිමත් කිරීමට උපදෙස් ලබා දී ඇත. ජන ජීවිත සහ දේපළ ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් සෙවීමේ සහ ගලවා ගැනීමේ මෙහෙයුම් කඩිනම් කරන ලෙසත්, ඉදිරියේදී සිදුවිය හැකි අවදානම් තත්ත්වයන් පූර්ව අනතුරු ඇඟවීම් හරහා අවම කරන ලෙසත් ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.
මේ අතර, චීන අගමැති ලී ච්යං මහතා ද අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දෙමින් පවසා ඇත්තේ විපතට පත් වූවන් බේරා ගැනීම, තුවාල ලැබූවන්ට අවශ්ය ප්රතිකාර ලබා දීම සහ අවතැන් වූවන් නැවත පදිංචි කිරීම සඳහා උපරිම උත්සාහයක් ගන්නා ලෙසයි.
ආපදා කළමනාකරණ කටයුතු නිසි ලෙස ක්රියාත්මක කිරීම සහ අනාගත ආපදා වැළැක්වීම සඳහා පියවර ගන්නා ලෙස ද අගමැතිවරයා වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇත.
