නේපාලයේ රසුවා දිස්ත්‍රික්කයේ භෝටේ කෝෂි ගඟ ආශ්‍රිතව හටගෙන ඇති හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන්, එරට සිටින ශ්‍රී ලාංකිකයින් සඳහා කත්මණ්ඩු නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් විශේෂ ආරක්ෂක උපදේශනයක් නිකුත් කර තිබේ.

ගංවතුර හේතුවෙන් තිමුරේ සහ සයබෲබේසි ප්‍රදේශවල ජනාවාසවලට හානි සිදුව ඇති අතර, භෝටේ කෝෂි සහ ත්‍රිෂූලි ගංගා ආශ්‍රිත පහත් බිම්වල ආරක්ෂක අවදානමක් මතුව ඇත. රසුවා, නුවාකොට්, ධාඩිං, ගොර්කා සහ චිත්වාන් වැනි ප්‍රදේශවල සංචාරය කරන හෝ පදිංචිව සිටින ශ්‍රී ලාංකිකයින් මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවිය යුතුය.

ගංගා ඉවුරු, පාලම් සහ පහත් බිම් ආශ්‍රිතව ගමන් කිරීමෙන් වළකින ලෙසත්, දේශීය බලධාරීන්ගේ උපදෙස් පිළිපදින ලෙසත් තානාපති කාර්යාලය ඉල්ලා සිටී. ගමන් කිරීමට පෙර මාර්ග තත්ත්වය පිළිබඳව පූර්ව විමර්ශනයක් සිදුකිරීම අත්‍යවශ්‍ය වන අතර, ජලයෙන් යටවූ මාර්ග හෝ ගංගා තරණය කිරීමට කිසිසේත් උත්සාහ නොකරන ලෙස අවධාරණය කර ඇත.

පවතින තත්ත්වය පැහැදිලි වන තුරු අනවශ්‍ය ගමන් බිමන් කල් දමන ලෙසත්, ආරක්ෂිත ස්ථානවල රැඳී සිටින ලෙසත් ශ්‍රී ලාංකිකයින්ට උපදෙස් ලබා දී ඇත. සහාය අවශ්‍ය ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට කත්මණ්ඩු නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පැය 24 පුරා ක්‍රියාත්මක හදිසි දුරකථන අංකය වන +977 9851048653 ඔස්සේ හෝ slemk.kathmandu@mfa.gov.lk විද්‍යුත් තැපෑල හරහා සම්බන්ධ විය හැකිය.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version