නේපාලයේ ටිබෙට් දේශසීමාව ආසන්නයේ රසුවා ප්‍රදේශයේ හදිසි ගංවතුර තත්ත්වයක් හටගෙන ඇති අතර, එමගින් සිදුවූ ජීවිත හානි සංඛ්‍යාව 177 දක්වා ඉහළ ගොස් තිබේ. ග්ලැසියර කඩා වැටීමක් හේතුවෙන් මෙම ව්‍යසනය හටගෙන ඇති බව ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය තහවුරු කරයි.
බෝටේ කෝෂි ගඟේ අතු ගංගාවක් වන ලෙන්ඩේ කෝලා වෙත අයිස් සහ විශාල පාෂාණ කැබලි කඩා වැටීමෙන් මීටර් 200ක් උසැති ජල රළක් නිර්මාණය වී ඇති බව විශේෂඥයින් පෙන්වා දෙයි. මෙය 2015 වසරේ ඇති වූ භූමිකම්පාවෙන් පසු නේපාලය මුහුණ දුන් දරුණුතම ආපදා තත්ත්වය ලෙස සැලකේ.
අතුරුදන් වූ 1500කට අධික පිරිස අතර විදේශිකයන් 579 දෙනෙකු ද වන බව වාර්තා වේ. ඔවුන් අතර බ්‍රිතාන්‍ය, ඇමෙරිකානු, මැලේසියානු සහ දකුණු අප්‍රිකානු ජාතිකයින් ඇතුළු පිරිසක් සිටිති. කත්මණ්ඩුහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසන්නේ, මෙම ආපදාවෙන් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට හානියක් සිදුවී නොමැති බවයි.
ප්‍රදේශයේ පවතින සුන්බුන් හේතුවෙන් තවත් ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව ජාත්‍යන්තර ඒකාබද්ධ කඳුකර සංවර්ධන මධ්‍යස්ථානය අනතුරු අඟවයි. නේපාලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට ඉතා විමසිල්ලෙන් සහ ආරක්ෂිතව පසුවන ලෙස තානාපති කාර්යාලය දැනුම් දී ඇත.
