සීගිරිය අභයභූමියට අයත් පෞද්ගලික ඉඩමක වනජීවී දෙපාර්තමේන්තුවේ පූර්ව අවසරයකින් තොරව සංවර්ධන කටයුතු සිදුකිරීමේ චෝදනාව මත ප්‍රවීණ රංගන ශිල්පී ගාමිණී ෆොන්සේකා මහතාගේ පුත් දමිත් ෆොන්සේකා මහතා ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ලැබුණු විශේෂ තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ සීගිරිය වනජීවී නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර ඇත. එහිදී නීති විරෝධී ලෙස වගා ළිඳක් කැපීම සහ ගස් කපා හෙළීම සිදුකරමින් තිබූ බව වාර්තා වේ.

මෙම කටයුතු සඳහා යොදාගත් බැකෝ යන්ත්‍රයක්, ලොරි රථයක්, ට්‍රැක්ටරයක් සහ කපා දමන ලද දැව තොගයක් ද වනජීවී නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබේ. අදාළ භූමිය පෞද්ගලික ඉඩමක් බැවින් එහි කටයුතු කිරීමට නීතිමය අවසරයක් අවශ්‍ය බව තමන් නොදැන සිටි බව සැකකරුවන් ප්‍රකාශ කර ඇත.

කෙසේ වෙතත්, සීගිරිය වනජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂක එස්.එස්. මලින්ද මහතා පෙන්වා දෙන්නේ අභයභූමි සීමාව තුළ පිහිටි ඕනෑම ඉඩමක කැණීම් හෝ දැව කැපීම් සිදුකරන්නේ නම් වනජීවී දෙපාර්තමේන්තුවේ අනුමැතිය අනිවාර්ය බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ලබන සඳුදා (31) පෙනී සිටින බවට පොරොන්දු ඇප මත මුදාහැර තිබේ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version