ගොතටුව මාදින්නාගොඩ සුරම්‍යාරාම පුරාණ විහාරස්ථානයේ වාර්ෂික ඇසළ මහා පෙරහර අද (30) සවස 6.30ට වීථි සංචාරය කිරීමට නියමිත බව පොලීසිය පවසයි. මෙම පෙරහර ගමන් ගන්නා මාර්ගයන්හි රථවාහන ගමනාගමනය තාවකාලිකව සීමා කිරීමට පියවර ගෙන ඇත.
පෙරහර ගමන් ගන්නා මාර්ගය වන්නේ මාදින්නාගොඩ විහාරස්ථානයෙන් ආරම්භ වී මහනියර හන්දිය, බුත්ගමුව පාර, අඹගහ හන්දිය සහ කොටුවේගොඩ හරහා රාජගිරිය දක්වා ගමන් කර, යළි මැදවැලිකඩ පාර සහ එම්.ඩී.එච්. ජයවර්ධන මාවත ඔස්සේ විහාරස්ථානයට ළඟා වීමයි.
පෙරහර ගමන් ගන්නා කාලසීමාව තුළ රියැදුරන් සඳහා විකල්ප මාර්ග හඳුන්වා දී ඇත. ඒ අනුව, මාදින්නාගොඩ සිට මහනියර හන්දිය දක්වා පෙරහර ගමන් කරන විට මහවත්ත හන්දියෙන් හැරී ඇල්කේන පාර ඔස්සේ බෝගහ හන්දිය සහ අයි.ඩී.එච්. හන්දිය දෙසට ගමන් කළ හැකිය.
එසේම, මහනියර සිට අඹගහ හන්දිය දක්වා පෙරහර ගමන් කරන අවස්ථාවේදී අයි.ඩී.එච්. හන්දිය, දොඩම්ගහහේන, හල්ගහදෙණිය පාර ඔස්සේ කොස්වත්ත හරහා රාජගිරියට හෝ මාළඹේ දෙසට ගමන් කිරීමට රියැදුරන්ට අවස්ථාව ඇත.
පෙරහර ගමන් ගන්නා කාලය තුළ රථවාහන තදබදය මඟහරවා ගැනීමට සහාය වන ලෙස පොලීසිය මහජනතාවගෙන් සහ රියැදුරන්ගෙන් ඉල්ලා සිටියි.
