චීන දේශසීමාව ආසන්නයේ පිහිටි හිමාල කලාපයේ සිදුවූ ග්ලැසියර කඩා වැටීමක් හේතුවෙන් බරපතළ ව්යසනයක් වාර්තා වේ. මෙම සිදුවීමෙන් මේ වන විට පුද්ගලයන් 682ක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් 3,000කට ආසන්න පිරිසක් අතුරුදහන්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
එක්සත් ජනපද භූ විද්යා සමීක්ෂණ ආයතනය පෙන්වා දෙන්නේ, ඉහළ උන්නතාංශයක ඇති වූ මෙම ග්ලැසියර කඩා වැටීමත් සමඟ විශාල සුන්බුන් ප්රමාණයක් පහළට ගලා ඒමෙන් මෙම විනාශය සිදුව ඇති බවයි. ගෝලීය උණුසුම ඉහළ යාම හේතුවෙන් ග්ලැසියර වේගයෙන් දියවීම මෙවැනි ස්වාභාවික ආපදාවලට ප්රධාන හේතුවක් වී ඇති බව විශේෂඥයෝ අනතුරු අඟවති.
නේපාල විදේශ අමාත්ය ෂිසීර් ඛනාල් මහතා සඳහන් කළේ, මෙම තත්ත්වය පිළිබඳව චීන විදේශ අමාත්ය වැන්ග් යී මහතා සමඟ සාකච්ඡා කළ බවයි. දෙරට අතර තත්ය කාලීන ජල විද්යාත්මක දත්ත සහ චන්ද්රිකා තොරතුරු හුවමාරු කර ගැනීමටත්, ආපදාවට ලක්වූ ප්රදේශවල සහන කටයුතු කඩිනම් කිරීමටත් දෙපාර්ශ්වය එකඟ වී ඇත.
එක්සත් ජාතීන්ගේ දේශගුණික ප්රධානී සයිමන් ස්ටීල් මහතා පෙන්වා දෙන්නේ, මෙම සිදුවීම කඳුකර පරිසර පද්ධති කෙතරම් අවදානමට ලක්ව ඇත්ද යන්න පිළිබඳව ලෝකයට ලබාදුන් බරපතළ අනතුරු ඇඟවීමක් බවයි. දේශගුණික විපර්යාස හේතුවෙන් මෙවැනි ව්යසන ඉදිරියේදීත් සිදුවිය හැකි බවට ඔහු වැඩිදුරටත් අවධාරණය කරයි.
හිමාලයානු ග්ලැසියර දියවීම බිලියන දෙකකට ආසන්න ජනතාවකට ජල සම්පත සපයන පද්ධතියට තර්ජනයක් වී ඇත. නේපාලය ගෝලීය හරිතාගාර වායු විමෝචනයට දායක වන්නේ ඉතා සුළු ප්රතිශතයකින් වුවද, දේශගුණික විපර්යාසවල දරුණුතම ප්රතිවිපාකවලට මුහුණ දීමට සිදුව ඇත්තේ එම රටවල ජනතාවට බව නේපාල බලධාරීහු පෙන්වා දෙති.
