ශ්‍රී ලංකා පොලීසියේ 160 වැනි සංවත්සරය සැමරීම වෙනුවෙන් සංවිධානය කරනු ලබන ‘පොලිස් පාපැදි සවාරිය’ අද (01) පෙරවරුවේ කොම්පඤ්ඤවීදිය පොලිස් මූලස්ථානය අසලින් ආරම්භ කෙරිණි. පොලිස්පතිවරයාගේ මඟ පෙන්වීම යටතේ මෙරට පොලිස් ඉතිහාසයේ පළමු වරට පැවැත්වෙන මෙම තරගාවලිය අදියර තුනකින් සහ කිලෝමීටර් 410ක දුරකින් සමන්විත වේ.
මත්ද්‍රව්‍යවලින් තොර නීරෝගී තරුණ පරපුරක් බිහි කිරීම, පොලීසිය සහ තරුණ ප්‍රජාව අතර අන්‍යෝන්‍ය විශ්වාසය ගොඩනැගීම සහ නීතිය හා සාමය පවත්වා ගැනීමට තරුණයන් දිරිමත් කිරීම මෙම තරගාවලියේ මූලික අරමුණු වේ.
තරගයේ පළමු අදියර අද කොළඹින් ආරම්භ වී දඹුල්ල දක්වා කිලෝමීටර් 141ක දුරක් ආවරණය කරයි. දෙවැනි අදියර හෙට (02) දඹුල්ලෙන් ආරම්භ වී පුත්තලම දක්වා කිලෝමීටර් 137.4ක දුරක් ගමන් කිරීමට නියමිතය. අවසන් අදියර අනිද්දා (03) පොලිස් දිනය දා පුත්තලමේ සිට බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානය දක්වා පැවැත්වේ.
මෙම තරගාවලියේ සමස්ත ශූරයා සඳහා පොලිස්පති අභියෝගතා ශූරතාව සහ රුපියල් ලක්ෂ 3ක මුදල් ත්‍යාගයක් පිරිනැමේ. මීට අමතරව පළමු ස්ථාන 25 දක්වා විවිධ මුදල් ත්‍යාග සහ විශේෂ දක්ෂතා දක්වන ක්‍රීඩකයන් සඳහා අමතර සම්මාන පිරිනැමීමට සංවිධායක මණ්ඩලය කටයුතු යොදා ඇත.
