විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන්ට එම රටවල සිටම මෙරට මැතිවරණ සඳහා ඡන්දය භාවිත කිරීමට අවස්ථාව සැලසීම සම්බන්ධයෙන් අනාගතයේදී ගන්නා ඕනෑම පියවරකදී විනිවිදභාවය සහ මහජන විශ්වාසය සුරැකීම අතිශය වැදගත් බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා අවධාරණය කළේය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ “විදේශවල සිටින ශ්‍රී ලාංකිකයන්ට එම රටවල සිටම මෙරට මැතිවරණවලදී සිය ඡන්දය භාවිත කිරීම පිළිබඳ කලාපීය සමුළුව 2026” සඳහා කොළඹදී එක්වෙමිනි. ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව සහ මැතිවරණ පද්ධති සඳහා වූ ජාත්‍යන්තර පදනම (IFES) එක්ව මෙම සමුළුව සංවිධානය කර තිබුණි.

විදේශගත ශ්‍රී ලාංකිකයන් රටේ අනාගතය සහ ප්‍රජාවන් සමඟ සමීපව බැඳී සිටින බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා ජාත්‍යන්තර අත්දැකීම් උපයෝගී කර ගැනීමේ වැදගත්කම පැහැදිලි කළේය.

මෙම සමුළුවේදී විදේශගත පුරවැසියන්ගේ මැතිවරණ සහභාගීත්වය, ඒ සඳහා අවශ්‍ය නීතිමය රාමු මෙන්ම තාක්ෂණික සහ ආරක්ෂක කරුණු පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. විවිධ රටවල පවතින ඡන්ද ක්‍රම පිළිබඳ අත්දැකීම් හුවමාරු කර ගැනීම මැතිවරණ පරිපාලනය ශක්තිමත් කිරීමට ඉවහල් වන බව මෙහිදී අවධාරණය විය.

සමුළුවේ තාක්ෂණික සැසිවාරවලදී සයිබර් ආරක්ෂාව, මැතිවරණ මෙහෙයුම් සහ අනාගත මැතිවරණ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන ලදී. මෙම අවස්ථාවට දේශීය මෙන්ම විදේශීය මැතිවරණ කොමිෂන් සභා නියෝජිතයින්, රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් සහ ක්ෂේත්‍රයේ විශේෂඥයින් රැසක් සහභාගී වූහ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version