භූතානයේ පැවති ගෝලීය ආහාර පද්ධති සමුළුවට සමගාමීව, ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සහ භූතානයේ අධ්‍යාපන හා නිපුණතා සංවර්ධන අමාත්‍ය යීසාං දේ තාපා මහතා අතර විශේෂ ද්විපාර්ශ්වික හමුවක් පසුගියදා පැවැත්විණි.
දෙරටේ අධ්‍යාපන ක්ෂේත්රයේ සහයෝගීතාව ශක්තිමත් කර ගැනීම සහ පුළුල් කිරීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. විශේෂයෙන්ම උසස් අධ්‍යාපන සහ වෘත්තීය පුහුණු ක්ෂේත්රයන්හි ආයතනික සබඳතා වර්ධනය කර ගැනීමට දෙපාර්ශවයම එකඟතාව පළ කළහ.
අධ්‍යාපන සහ වෘත්තීය පුහුණු ක්ෂේත්රවල සහයෝගීතාව තහවුරු කිරීම සඳහා අවබෝධතා ගිවිසුමකට එළඹීමටත්, ඒ සඳහා ලේකම් මට්ටමින් ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමක් පිහිටුවා වාර්ෂිකව ප්‍රගතිය සමාලෝචනය කිරීමටත් මෙහිදී තීරණය විය.
විශ්වවිද්‍යාල අතර පර්යේෂණ හුවමාරු, ගුරු පුහුණු වැඩසටහන් සහ අධ්‍යාපන ක්ෂේත්රයේ හොඳම භාවිතයන් හුවමාරු කර ගැනීම පිළිබඳව ද අවධානය යොමු විය. මීට අමතරව, සිසුන්ගේ ආරක්ෂාව සහ ළමා සුරක්ෂිතභාවය පිළිබඳ යාන්ත්‍රණ ශක්තිමත් කිරීමේ වැදගත්කම ද සාකච්ඡාවට ලක් කෙරිණි.
භූතාන සිසුන්ට ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල වෛද්‍ය, දන්ත වෛද්‍ය සහ භෞතචිකිත්සාව වැනි විෂය ක්ෂේත්‍ර ඔස්සේ උපාධි සහ පශ්චාත් උපාධි අධ්‍යාපනය ලැබීමට පවතින අවස්ථා පුළුල් කිරීම පිළිබඳව ද අග්‍රාමාත්‍යවරිය සහ භූතාන අමාත්‍යවරයා අතර අදහස් හුවමාරු විය.
