යුක්‍රේනයේ කිව් අගනුවර පැවැති ආරක්ෂක සමුළුවකට සහභාගී වී යළි පෝලන්තය බලා ගමන් කරමින් සිටි බ්‍රිතාන්‍ය හිටපු අගමැති බොරිස් ජොන්සන් ඇතුළු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රික පිරිසක් අනූනමයෙන් ප්‍රහාරයකින් බේරී ඇත.

වාර්තා වන පරිදි, මෙම පිරිස ගමන් ගත් දුම්රිය යුක්‍රේනයේ යාහොඩින් දුම්රිය ස්ථානයෙන් පිටව ගොස් මිනිත්තු කිහිපයකට පසුව එම ස්ථානයට රුසියානු ඩ්‍රෝන යානයක් මගින් ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරයෙන් දුම්රිය ස්ථානයේ තිබූ වෙනත් මගී දුම්රියක එන්ජිමකට හානි සිදුවුවද, කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැත.

මෙම ගමනට ස්වීඩනයේ හිටපු අග්‍රාමාත්‍ය කාල් බිල්ඩ් සහ අමෙරිකානු සී.අයි.ඒ. සංවිධානයේ හිටපු ප්‍රධානී ඩේවිඩ් පෙට්‍රේයස් ද එක්ව සිටියහ. කාලසටහනේ සිදුකළ හදිසි වෙනස්කම් හේතුවෙන් රාජ්‍ය තාන්ත්‍රිකයින් රැගත් දුම්රිය නියමිත වේලාවට පෙර එම ස්ථානයෙන් පිටත්ව යාම ඔවුන්ගේ ජීවිත බේරීමට හේතු වූ බව සඳහන් වේ.

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් බොරිස් ජොන්සන් පවසා ඇත්තේ, මෙය රුසියාව විසින් සිවිල් යටිතල පහසුකම් ඉලක්ක කරගනිමින් සිදුකරන අහඹු සහ නිරර්ථක ප්‍රහාරයන්ගෙන් එකක් බවයි. සිදුවීමෙන් පසු පෝලන්ත අග්‍රාමාත්‍යවරයා විසින් හදිසි ආරක්ෂක රැස්වීමක් ද කැඳවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version