සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ භටයන් 9,760 දෙනෙකු අමාත්ය මණ්ඩල අනුමැතියකින් තොරව විවිධ බාහිර රාජකාරි සඳහා යොදවා ඇති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වේ.
මෙම පිරිසෙන් 1,790 දෙනෙකු ආගමික ස්ථානවල විවිධ රාජකාරි සඳහා යොදවා තිබූ අතර, ඔවුන් සඳහා පසුගිය වසරේදී පමණක් රුපියල් කෝටි 107කට අධික වැටුප් ගෙවා ඇත. අනුමත කර තිබුණේ ආගමික ස්ථානවල සුළු හා මධ්ය පරිමාණ ඉදිකිරීම් කටයුතු සඳහා පමණක් වුවද, එම සේවාවන් වෙනුවෙන් අය විය යුතු මුදල් පවා දෙපාර්තමේන්තුව විසින් අය කර නොගැනීම ගැටලු සහගත බව විගණන වාර්තාව පෙන්වා දෙයි.
එමෙන්ම, කිසිදු නීතිමය ප්රතිපාදනයකින් තොරව භටයන් දහස් ගණනක් වී ගොවිතැන් කටයුතු සඳහා යොදවා ඇති අතර, ඒ සඳහා වැටුප් ලෙස රුපියල් කෝටි 150කට අධික මුදලක් වැය කර ඇත. කෘෂිකාර්මික ව්යාපෘතිවලින් අපේක්ෂිත අස්වැන්න ලබා ගැනීමට අපොහොසත් වීම හේතුවෙන් රජයට විශාල පාඩුවක් සිදුව ඇති බවද වාර්තාවේ දැක්වේ.
මීට අමතරව, දෙපාර්තමේන්තුව සතු රථවාහන කළමනාකරණයේ පවතින දුර්වලතා ද විගණනය මගින් අනාවරණය වී ඇත. ධාවනයට නුසුදුසු වාහන 178ක් අලුත්වැඩියා කිරීමට හෝ බැහැර කිරීමට පියවර නොගැනීම සහ දුම් සහතික නොමැති වාහන භාවිතය වැනි කරුණු රැසක් ඒ අතර වේ.
