පොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදෙන ලෙස ඉල්ලා අත්සන් 50 ලක්ෂයක් එකතු කිරීමේ විශේෂ වැඩසටහනක් අද (26) මිහින්තලේ පූජා භූමියේදී ආරම්භ කෙරිණි.
මිහින්තලේ රජමහා විහාරාධිපති හිමියන් සහ මහා සංඝරත්නය විසින් මෙම පෙත්සමට මුල්ම අත්සන් තබමින් මෙම වැඩසටහන ආරම්භ කරන ලදී. ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීමට කඩිනමින් පියවර ගන්නා ලෙස මිහින්තලේ විහාරාධිපති හිමියන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් විශේෂ ඉල්ලීමක් ද සිදු කළහ.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට වරදකරු වී වසර 6ක සිරදඬුවමක් නියම වී සිටි ඥානසාර හිමියන්ට මීට පෙර හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් ජනාධිපති සමාව ලබා දී තිබුණි. කෙසේ වෙතත්, එම සමාව නීත්යානුකූල නොවන බව ශ්රේෂ්ඨාධිකරණය විසින් පසුගිය 10 වැනිදා තීන්දු කරනු ලැබීය.
මිහින්තලේ පූජා භූමිය යනු ලොවටම අභයදානය හඳුන්වා දුන් ස්ථානය බව සිහිපත් කළ විහාරාධිපති හිමියන්, මහජනතාවගෙන් එකතු කරගන්නා මෙම අත්සන් සහිත පෙත්සම මහානායක ස්වාමීන් වහන්සේලා හරහා ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිත බව පැවසූහ.
