අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටින බවට හඳුනාගත් අවුරුදු 14 සහ 12 වැනි වියේ පසුවන බාලවයස්කාර සහෝදරයන් දෙදෙනෙකුගේ භාරකාරත්වය සම්බන්ධයෙන් මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ජනිතා රෝෂණී පෙරේරා මහත්මිය විසින් විශේෂ නියෝගයක් නිකුත් කර ඇත.

පාසල් නොයන බවට ලැබුණු පැමිණිල්ලක් මත මාදම්පිටිය පොලිසිය විසින් සිදුකළ පරීක්ෂාවකදී මෙම දරුවන් සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 220ක් සොයාගෙන තිබුණි. පසුව සිදුකළ වෛද්‍ය පරීක්ෂණවලදී දරුවන් දෙදෙනාම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති බව තහවුරු විය.

පරිවාස වාර්තාවක් ඉදිරිපත් කරමින් පරිවාස නිලධාරිනිය අධිකරණයට දැනුම් දුන්නේ, මීට වසර කිහිපයකට පෙර ඉතා යහපත් පවුල් පසුබිමක් තිබූ මෙම දරුවන්ගේ පවුලේ සාමාජිකයන් මත්ද්‍රව්‍ය උවදුරට ගොදුරු වීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වූ බවයි. වැඩිමහල් සහෝදරියකගේ බලපෑම මත දරුවන් මත්ද්‍රව්‍යවලට හුරු වී ඇති බවද අනාවරණය විය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය, දරුවන්ගේ භාරකාරත්වය ලබාදිය හැකි සුදුසු ඥාතීන් කවුරුන්ද යන්න සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ පරිවාස නිලධාරිනියට නියම කළාය. ඒ සඳහා බත්තරමුල්ල ළමා මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනු කිරීමටද පොලිසියට උපදෙස් ලබා දෙන ලදී.

එතෙක් දරුවන් දෙදෙනා පරිවාස භාරයේ තැබීමටත්, නියමිත දිනයේදී ඔවුන් ළමා මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර අධිකාරීවරයාටත් අධිකරණය නියෝග කළේය.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version